යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහා බෝසතාණන් වහන්සේ...........ආහ්.. බාධා කරන්න උනාට ටිකක් සමා වෙන්න ඔනේ. ඔන්න ඉතිං නිර්මල දහමින් දෙවෙනි ලිපියත් අරං මම ආවා. අද කියන්න යන්නේ ලස්සන කතාවක් ගැනයි. කතා අහන්න හැමෝම ආසයිනේ. මේක නිකම්ම නිකං කතාවක් නෙමේ. අපේ ගෞතම බුදු රජාණන් වහන්සේ ගෙ එක් ආත්මයක ජාතක කතාවක් තමයි කියන්න යන්නේ. මේක පන්සිය පනස් ජාතක කතා අතුරින් 180 වෙනි ජාතක කතාවයි. මේ ජාතක කතාවේ නම තම්යි ගිජ්ඣ ජාතකය. බුදු රජාණන් වහන්සේ මේ කතාව දේශනා කරන්න පාදක වෙලා තියෙන්නේ උන්වහන්සේ වැඩ ඉන්න කාලෙදි දෙමව්පියන්ට ඉතාමත් හොඳින් උපස්ථාන කරමින් හිටපු භික්ෂුවක්. ඉතිං ඔන්න කතාව අහන්නකෝ.
ඉතිං මම කියපු විදිහට යටගිය දවස බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි අප මහා බෝසතාණන් වහන්සේ ගිජ්ජකූඨ පර්වතයෙහි ගිජුලිහිණියෙක් වෙලා ඉපදිලා මහළු දෙමව්පියන්ට උපස්ථාන කරමින් හිටියා. ඔහොම ඉන්නකොට මහා සුළං සහිත වැහි කාලයක් ආවා. මේ හින්දා ගිජුලිහිණියන්ට ගිජ්ජකූඨ පර්වතයේ ඉඳීම අපහසු උනා. උන් සීතලට ගල් උනා. ඒ නිසා ඔක්කොම ගිජුලිහිණියො ටික බරණැස් නගරය පැත්තට ඇවිත් සී සී කඩ වැටිලා හිටියා. එතකොට වැවට නාන්න ගිහින් හිටපු බරණැස් සිටාණෝත් එතනින් ආවා. සිටාණෝ මේ වැටිලා හිටිය ගිජුලිහිණියන් දැකලා අනුකම්පා ඇතිවෙලා ගින්දර ගෙන්වලා උන්ගේ පියාපත් තවලා, මළ ගවයින් දාන තැනින් මස් ගෙන්නලා උන්ට කන්නත් දුන්නා. බලන්න කොච්චර හොඳ සිටාණන් කෙනෙක්ද කියලා. ඉතිං ගිජුලිහිණියොත් හොඳට සීත කාලෙදි කාලා බීලා රස්නෙට ගින්දර ගාවට වෙලා ඉඳලා එහෙම වැහි කාලෙ ඉවර වෙච්ච ගමන්ම ආපහු ගිජ්ජකූඨ පර්වතයට ගියා. ගිහින් මේ ගිජුලිහිණියෝ සාකච්ඡා කරා, මේ බරණස් සිටාණන් අපිට බොහොම හොඳින් සැළකුවා; අපිත් මොනවහරි ප්‍රති උපකාරයක් කරන්න ඕනේ නේද කියලා. ඉතිං එහෙම හිතලා බරණැස් නගරයේ මොකක් හරි රන් ආභරණයක් වගේ වටින දෙයක් දැක්කොත් ඒක අරං ගිහින් සිටාණන්ගේ සඳළුතලේ එල්ලමුයි කියලා කතා උනා. ටික දවසක් යද්දී මෙහෙම ආභරණ ගොඩාක් සිටාණන්ගෙ ගෙදර තිබුනා. සිටාණන් මේක ගිජුලිහිණියන්ගේ වැඩක්නේ කියලා ඒවා ගෙයි තැන තැන තිබ්බා. මෙහෙම යද්දී වැසියන්ට හරිම කරදරයක් උනා මේ ගිජුලිහිණියන්ගේ කොල්ලකෑම. ඒගොල්ලො ගිහින් රජතුමාට පැමිණිලි කරා මේ ගැන. රජතුමාත් කල්පනා කරලා එයින් එක ගිජුලිහිණියෙක් අල්ලගෙන එන්න කියලා අණ කරා. ඉතින් මේ අය උගුල් අටවලා බලං හිටියා. දවසක් එක් උගුලකට අර දෙමව්පියන්ට උපස්ථාන කරමින් හිටපු ගිජුලිහිණියා අහු උනා. මිනිස්සු ඌව අල්ලගෙන රජතුමා ගාවට ගෙනිච්චා.
මෙහෙම ගිජුලිහිණියා අරං යද්දී මේක බරණැස් සිටාණෝ දැක්කා. දැකලා මේ ගිජුලිහිණියාව මැරුවොත් ඒක හොඳ නෑ කියලා හිතලා සිටාණෝත් මාළිගාවට ගියා. ඉතිං රජතුමා ගිජුලිහිණියාගෙන් ඇහුවා "ඇයි තොපි සම්පත් කොල්ලකන්නේ ?" කියලා. "අපට සීත කාලෙදී බොහෝම උදව් කරපු සිටාණන්ට ප්‍රති උපකාර වශයෙන් දෙන්න තමයි අපි කොල්ලකෑවේ" කියලා ගිජුලිහිණියා කියා උන්නා. දීපූ උත්තරෙන් සතුටු වුනු රජතුමා ආයෙත් මෙහෙම ඇහුවා "යොදුන් සීයක් ඈත තියන කුණු දකින තොප මේ උගුල දැක්කේ නැද්ද ?" එතකොට බෝසත් ගිජුලිහිණියා "රජතුමණි, අපිට යොදුන් සීයක් ඈත තියන කුණු පේන බව ඇත්ත, ඒත් ජීවිතය අවසන් වන මොහොත ළං උනහම ඒ උගුල් උනත් පේන්නෙ නැතුව යනවා" යි කීවා. ඊට පස්සෙ රජතුමා මේ ගිජුලිහිණියා කියන කතාව ඇත්තද කියලා සිටාණන් ගෙන් අහලා බැලුවා. සිටාණන් ඇත්ත කියලා ගිජුලිහිණියාව බේරලා ඇරලා, ආපහු ඒ සම්පත් ඔක්කොම වැසියන්ට බෙදලා දුන්නා.
ඉතිං දේශනාව ඉවර කරලා බුදු රජාණන් වහන්සේ ඒ කාලේ බරණස් රජතුමා ආනන්ද හාමුදුරුවෝ, බරණැස් සිටණන් සැරියුත් හාමුදුරුවෝ, දෙමව්පියන්ට උපස්ථාන කළ ගිජුලිහිණියා උන්වහන්සේමයි කියා වදාළා. මේ දේශනාව ඉවර වෙද්දී අහගෙන හිටපු දහසක් භික්ෂූන් වහන්සේලා සෝවාන් වුනාලු.
ඔන්න ඕකයි ගිජ්ඣ ජාතකය. ඉතිං මේකත් කියවලා එකක් එහෙම දාන්නකෝ. තවත් ලිපියක් අරං මම ඊළඟ දවසෙත් එන්නංකෝ.
සියළු දෙනාට තෙරුවන් සරණයි !
නමෝ බුද්ධාය !







5 යි දැනට ප්‍රතිචාර:
සරල විදියට කතා අහන්න කැමති මං වගේ හැමෝම මේක කියවන්න. ඇත්තටම හරිම ශෝක්! චමත් ගොඩක් ස්තුති. .:)
බොහොම ස්තූතියි උත්පලා වෙනදා වගෙම අදත් පළවෙනි ප්‍රතිචාරයට..
මේවගේ බ්ලොග් කාලින අවශ්‍යතා. දිගටම සමබරව කරගෙන යන්න. සුබපැතුම්. අපි ඉන්නවා කියවන්න.
බොහොම ස්තූතියි All in one. මේ වගේ දිරි ගැන්වීම් කියවද්දී, දිගටම ලියන්න අමුතු ශක්තියක් එනවා.
බොහොම ස්තූතියි උත්පලා වෙනදා වගෙම අදත් පළවෙනි ප්‍රතිචාරයට..
Post a Comment
බොහොම ස්තූතියි කියෙව්වාට.
මාව දිරිමත් වෙන්න ප්‍රතිචාරයකුත් දාලම යනවද ?